සන්නිවේදන අරමුණු



සන්නිවේදන අරමුණු


        සන්නිවේදනයේ මූලික අරමුණු කිහිපයක් පිළිබඳව සන්නිවේදන විද්‍යාඥයෝ පැහැදිලි කරති. 
       
      එනම්,
  1. තොරතුරු සම්පාදනය 
  2. අධ්‍යාපනය ලබා දීම
  3. විනෝදාස්වාදය
  4. යම් යම් කරුණු සඳහා පොළඹවාලීම
  5. සමාජානුයෝජනය
  6. සංවාද හා සාකච්ඡා පැවැත්වීම
  7. අභිපේ‍්‍රරණය
  8. අනුකලනය

තොරතුරු සම්පාදනය 

          සමාජය හැමවිට ම මොනයම් හෝ තොරතුරක් අපේක්ෂාවෙන් සිටී. ආර්ථිකය, සංස්කෘතිය, කලාව හෝ දේශපාලනය පිළිබ`ද තමන් අපේක්ෂා කරන තොරතුරු ඉතා ඉක්මනින් ලබා ගැනීමට හැකි ක‍්‍රමවේද පිළිබඳව සොයා බැලීම මිනිසාගේ පුරුද්දකි. සමාජයේ සෑම අවස්ථාවකදී ම යම් යම් සන්දර්භයන් වටා ගොඩනැගුනු තොරතුරු පද්ධතියක් සංසරණය වේ. ඒ අතරින් විවිධ සාමාජිකයෝ තමන්ට අවශ්‍ය තොරතුරු ප‍්‍රමාණය තමන් සතු කර ගනී. ප‍්‍රාථමික සමාජයේ සිට විවිධ ස්ථර පසු කරමින් නූතන දියුණු තාක්ෂණික සමාජය දක්වා මානවයා පැමිණීමේ දී ඔහු විසින් අපේක්ෂා කරන තොරතුරු වල ප‍්‍රමාණය ස්වභාවය සංකීර්ණතාවය සහ හැඩතලයන් වෙනස්වීම්වලට ලක්ව තිබේ.
          වර්තමාන සමාජය තොරතුරු සමාජයක් බවට පත් වී තිබේ. එබැවින් තොරතුරු සමග ගනුදෙනු කිරීම මිනිසාගේ ප‍්‍රමුඛ අවශ්‍යතාවයකි. පුද්ගලයාට අවශ්‍ය තොරතුරු ප‍්‍රමාණය බාධාවකින් තොරව ක්ෂණිකව වගකීමක් සහිතව හා නිරවද්‍යතාවයකින් යුතුව ලබා ගැනීමට එකි පරිසරය ගොඩනැගීමේ දී ජනමාධ්‍ය සතු කාර්යභාරය ඉතා තීරණාත්මක ජනමාධ්‍ය බිහි වූ අවදියේ පටන් පුද්ගලයා තොරතුරුවලින් සන්නද්ධ කිරීම එක් ප‍්‍රධාන අරමුණක් බවට පත්වේ. අප එදිනෙදා ජීවිතයේ අත්විදින සිදුවීම්, තොරතුරු, ප‍්‍රවෘත්ති යනාදියෙහි ස්වරූපය දැන ගැනීමට කැමැත්තක් දක්වමු. එසේම ග‍්‍රාහකයෝ ලෝකයේ සිදු වන නව සිද්ධීන් ගැන දැඩි අවධානයෙන් සිටිති. කවුද? කුමක්ද? කුමන ක‍්‍රමයටද? කවදාද? කෙසේද? ඇයි එසේ වූයේ? යනාදී වශයෙන් ප‍්‍රශ්න කරමින් යමක් පිළිබඳව දැන ගැනීමට උත්සාහ කරයි. ඈත අතීතයේ සිටම මිනිසා තමා පිළිබඳ තොරතුරු මෙන් ම, තම අවට සමාජය, පරිසරය පිළිබඳ අලූතින් සිදුවන දෑ ගැන දැන ගැනීමේ කුතුහලයෙන් පසු විය. අසීමිත තොරතුරු ප‍්‍රමාණයක් කිසි`දු සීමා බැදීම්වලින් තොරව මිනිසා ඉදිරියේ සංසරණය කරවීම නූතන ජනමාධ්‍යන්ගේ කාර්යකි. අසීමිත වූ තොරතුරු සමාජයට ඵලදායී කළමනාකරණය කිරීමේ වගකීම ජනමාධ්‍ය සතු තොරතුරු සම්පාදන කාර්යභාරය සමඟ කේන්ද‍්‍රියව බැ`දී පවතී. එම නිසා ග‍්‍රාහකයන්ගේ අවශ්‍යතාවන් ඉටු කිරීමට දැවැන්ත ජනමාධ්‍ය ආයතන අද ලෝකයේ ක‍්‍රියාත්මක වේ.


අධ්‍යාපනය ලබා දීම

         අධ්‍යාපනය වනාහි මානවයා ශිෂ්ටාචාර ගත කිරීමේ ප‍්‍රබල සාධකයකි. ප‍්‍රාථමික නොදියුණු සමාජයේ සිටි මිනිසා සිය තාර්කික බුද්ධිය වර්ධනය කර ගැනීමත් සමඟ පාරිසරික ක‍්‍රියාකාරකම් පිළිබඳ කුතුහලයෙන් යුතුව නිරීක්ෂණය කිරීමට හුරු විය. ඒ සඳහා මෙතෙක් මානවයා සතු වූ දැනුම් අතදැකීම් පරාසයන් ප‍්‍රමාණවත් නොවූ අතර නව දැනුම සොයා යාම මානවයාගේ පුරුද්දක් බවට පත් විය. කාර්මික විප්ලවයත් සමඟ මිනිසාගේ විද්‍යාත්මක චින්තනය ප‍්‍රසාරණය වූ අතර, එහි ප‍්‍රතිඵලයක් ලෙස දැනුම, අධ්‍යාපනය ලබා ගැනීම සඳහා වූ මාධ්‍යන් ද පුළුල් විය. සමාජ අධ්‍යාපනයෙන් පෝෂණය කල විධිමත් ආයතනයන්ට අමතරව ජනමාධ්‍ය අධ්‍යාපනික සහයක මෙවලමක් ලෙස එහි ආරම්භක අවදියේ සිට ම ක‍්‍රියාත්මක වූ ආකාරය හªනාගත හැකි ය. අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය සංවාද, සාකච්ඡුා, ස්වයං චින්තනය සමාජ සම්බන්ධතා යනාදී අවස්ථාවන් වඩාත් පුළුල් කරමින් එය විශ්වාසනීයව ඉටු කිරීම සඳහා වන කාර්යභාරයන් ජනමාධ්‍ය වෙත පැවරී ඇත. කාර්මික විප්ලවයෙන් පසු එහි ප‍්‍රතිඵලයක් ලෙස ගොඩනැගෙන ශ‍්‍රව්‍ය දෘශ්‍ය හා මුද‍්‍රිත මාධ්‍ය ආරම්භක අවදියේ සිට ම ග‍්‍රහණය කරගනිමින් අධ්‍යාපනික අවශ්‍යතාව ඉටු කර ඇති ආකාරය පැහැදිලි ය. පුවත්පත, ගුවන්විදුලිය, සිනමාව, රූපවාහිනිය මෙන්ම නව මාධ්‍ය මඟින් ද සමාජය අධ්‍යාපනයෙන් පෝෂණය කිරීමේ කාර්යභාරයක් ඉටු කරන ආකාරයත් ඒ පිළිබඳව අවධානය යොමු කිරීමේ දී පැහැදිලි වේ. 
එය,
  • විධිමත් අධ්‍යාපනය
  • අවිධිමත් අධ්‍යාපනය
         ලෙස හෝ ලබා දෙන්නක් විය හැකි ය. ජනමාධ්‍ය ග‍්‍රාහකයන්ගේ බුද්ධි වර්ධනය සඳහා අධ්‍යාපනික වැඩසටහන් ඉදිරිපත් කිරීම මෙහි අරමුණ ය. පොදුවේ සළකා බලන විට ජනමාධ්‍යයෙන් බහුලව සිදු වන්නේ අධ්‍යාපනික අරමුණු ඉටු කිරීම ය.



විනෝදාස්වාදය ලබා දීම

          මිනිසා සතු මූලික අවශ්‍යතාවයක් වන ආහාර, නිවාස සහ සෞඛ්‍ය හැරුණු කොට තම පැවැත්ම යහපත් කර ගැනීම සඳහා ඉටු කර ගත යුතු සාධක සමූහයක් පවතී. කලාව, රසවින්දනය, අධ්‍යාපනය යනාදිය එහි දී මූලිකත්වය ගනී. මිනිසාගේ මානසික සමබරතාව ආරක්ෂා කර ගැනීම ඔහුගේ යහපැවැත්මට බලපාන්නා වූ තීරණාත්මන සාධකයකි. රසවින්දනය, විනෝදාස්වාදය මානසික සමබරතාව මිනිසා තුල ඇති කරලීමට මහෝපකාරී වේ. ප‍්‍රාථමික යුගයේ මානවයාට රසවින්දනය පිළිබඳව විශේෂ අවශ්‍යතවයක් නොතිබුණ ද ඔවුන්ගේ ජීවන ක‍්‍රියාකාරකම් සියුම් ව නිරීක්ෂණය කිරීමෙන් විනෝදාස්වාදය ඔවුන්ගේ ජීවිත තුල පැවති ආකාරය හඳුනා ගත හැකි ය. ක‍්‍රමානුකූලව මානව සමාජය දියුණු වීමත් සමඟ විනෝදාස්වාදය ඔවුන්ගේ ජීවිතයේ කොටසක් බවට පත් විය. ගුහා සිතුවම්, මැටි රූප, ප‍්‍රාථමික කැටයම් යනාදිය නිර්මාණය කිරීම තුලින් ඔවුන්ගේ ජීවිතවල පැවති වින්දනීය පාර්ශවය හඳුනා ගත හැකි ය. මානවයා විනෝදය වෙනුවෙන් සිදු කල බොහෝ ක‍්‍රියාකාරකම් පසුකාලීනව දියුණු කලාවන් බිහිවීමට මූලික සාධක වී ඇත.

       වර්තමාන සමාජය වන විට පවත්නා සංකීර්ණතාවන් හේතුවෙන් විනෝදාස්වාදය ලබා ගැනීම සඳහා වන ඉඩ ප‍්‍රස්ථාවන් බහුල කිරීම අවශ්‍යතාවය වී තිබේ. ජනමාධ්‍ය මඟින් විනෝදාස්වාදය සම්පාදනය් කිරීමෙන් බලාපොරොත්තු වන්නේ මෙම අරමුණු ඉටු කර ගැනීම යි. ව්‍යාකූල මානසික තත්ත්වයන් විශ‍්‍රාන්තිය මඟින් සමතුලිනය කොට ජීවිතය වඩාත් යහපත් කර ගැනීම සඳහා අවශ්‍ය කරන තත්ත්වයන් ගොඩනැංවීම ද ජනමාධ්‍ය මඟින් සිදු කරයි. ගීතය, කවිය, සංගීතය, නාද රටාවන්, චලනය, රූපය හා පරිකල්පනය යනාදිය භාවිත කරගෙන ග‍්‍රාහක මනස සන්තර්පණය කිරීමට ජනමාධ්‍ය අපමණ වෙහෙසක් දරයි. වර්තමාන ජනමාධ්‍ය අන්තර්ගතයන් පිළිබඳ සලකා බැලීමේ දී සැළකිය යුතු ඉඩ ප‍්‍රමාණයක් වෙන් වන්නේ විනෝදාස්වාදය පදනම් කර ගැනීමෙනි. නමුත් අධ්‍යාපනය මිශ‍්‍ර වූ විනෝදාස්වාදය, තොරතුරු හා මිශ‍්‍ර වූ විනෝදය ජනමාධ්‍ය සංදේශයන්හි අන්තර්ගතය බවට පත්වේ. 

           විනෝදාස්වාදයක් ලබා දීම සමහර ජනමාධ්‍ය කරුවෝ ප‍්‍රධාන ම අරමුණ ලෙස සලකති. සමහරුන් ප‍්‍රකාශ කරන්නේ විනෝදාස්වාදය ලබා දීමේ මුවාවෙන් ග‍්‍රාහකයා මත් ලෝකයකට ගෙන යන බව ය. එහෙත් විනෝදාස්වාදය තුලින් සිදු විය යුත්තේ ග‍්‍රාහකයාගේ ප‍්‍රඥාව දැල්වීම බව තවත් සමහරුන්ගේ මතයකි. පුද්ගලයා එදිනෙදා ජීවිතයේ මුහුණ දෙන දුක් කම්කටොළුවලින් තරමකින් හෝ මුදවා ගැනීමට ජනමාධ්‍ය විනෝදාස්වාදයක් දිය යුතුය. එය තවත් අදහසකි. කෙසේ වුවත් අද බොහෝ ජනමාධ්‍ය ග‍්‍රාහකයන් ජනමාධ්‍යවලට මතු වී ඇත්තේ කිසියම් ආශ්වාදයක් ලබා ගැනීමේ අරමුණින් බව පැහැදිලි ය. 



පෙළඹවීම

         පොළඹවාලීම ඉහත සඳහන් කරුණු සියල්ල තුලින්ම සිදු වේ. මානවයා විවිධ සමාජ ක‍්‍රියාකාරකම්වලට යොමු වීමෙන් එක් ප‍්‍රධාන සාධකයක් වන්නේ පෙළඹවීම යි. තමා ඉදිරියේ පවත්නා යහපත අයහපත වෙනුවෙන් පෙළඹවීමක් ඇති කර ගන්නා පුද්ගලයා ඒ වෙත යොමු වීමට ක‍්‍රියාත්මක වේ. බාහිර සමාජයේ තමා උකහා ගන්නා තොරතුරු, දැනුම යනාදිය පදනම් කරගෙන පෙළඹවීම සිදු වේ. ඒ අනුව සමාජ අවශ්‍යතාවයන්ට අනුකූලව ධනාත්මකව මිනිසා පෙළඹවීම සඳහා අවශ්‍ය පරිසරය ගොඩනැංවීම ජනමාධ්‍යයේ කාර්ය භාරය වේ. 

         සංවර්ධන  අපේක්ෂාවන් ඉටු කර ගැනීමේ දී ග‍්‍රාහකයා තුල ආකල්පමය වෙනස්කම් ඇති කොට සංවර්ධන ක‍්‍රියාමාර්ග වෙත යොමු වීමට ඔහු හෝ ඇය යොමු කරවීම සඳහා මාධ්‍ය ක‍්‍රියාත්මක වන ආකාරය හඳුවා ගත හැකි ය. අල්ලස් දූෂණයට එරෙහිව සමාජය පෙලගැස්වීම සඳහා ඔවුන් පොළඹවන අයුරු මාධ්‍ය මඟින් දැකිය හැකි ය. අධ්‍යාපනයේ සෞඛ්‍යයේ යනා දී ක්ෂේත‍්‍රයන්හි පවත්නා අයිතින් වෙනුවෙන් මහජනතාව පෙළගැස්වීමට බලපාන ආකාරය හඳුනා ගත හැකි ය. මේ අනුව නූතන සමාජය විවිධ අවස්ථාවලදී විවිධ අවශ්‍යතාවයන් වෙතට පොළඹවාලීමේ කාර්යභාරය ජනමාධ්‍ය සතුව පවත්නා ප‍්‍රධාන අරමුණ වේ. 

       පෙළඹවීම යහපත් හෝ අයහපත් අයුරින් සිදුවිය හැකි ය. කිසියම් මාධ්‍යක් ග‍්‍රාහකයා අතර රදා පැවතීමට අනිවාර්යයෙන් ම ඔවුන් ග‍්‍රහණයට ගත යුතුය. එය පොළඹවාලීමකි. මෙය නිර්මාණශිලිත්වය හා ග‍්‍රාහකයාගේ මානසික ලක්ෂණ අවබෝධ කර ගැනීමෙන් සිදු වන්නකි. මෙය සන්නිවේදන විෂයේදී පමණක් නොව අධ්‍යාපන, මනෝවිද්‍යා, සමාජවිද්‍යා විෂය ක්ෂේත‍්‍රවල ගැඹුරින් සාකච්ඡා කෙරේ.


සමාජානුයෝජනය

සමාජ ජීවිතයේ මුහුණ දීමට සිදු වන විවිධ ගැටළු අභියෝග හා ප‍්‍රශ්න හමුවේ ඊට සාර්ථකව මුහුණ දීමට හැකි පුද්ගල කණ්ඩායමක් බිහිකර ගැනීමට අවශ්‍ය සමාජ පරිසරය ගොඩනංවාලීම සමාජානුයෝජනය යි. කුඩා කල තම දෙමාපියන් ඇසුරේ ද අනතුරුව පාසල යටතේ ද සමවයස් මිතුරු කණ්ඩායම් යටතේ ද සමාජානුයෝජනය ට ලක්වේ. මෙහි දී ජනමාධ්‍ය යනු සමාජ සමාජානුයෝජනයේ ප‍්‍රබල ක‍්‍රියාකරුවෙකි. කුඩාකල සිට ම දරුවන් ජනමාධ්‍ය ඔස්සේ සමාජානුයෝජනය වේ. මෙහි දී අයහපත් ආකාරයේ බලපෑම් ඉටු වේ. 


වාද විවාද හා සාකච්ඡා

විවිධ මතවාද, විෂමතා, සාකච්ඡුාවට හා විවාදයට ලක් කිරීමෙන් වඩා නිවරදි අපක්ෂපාත වූ කාලීන තීරණවලට එළඹීමට හැකි වේ. දේශපාලන සංස්කෘතික හා සමාජීය ලෙස ගොඩනැගෙන විවිධ අදහස් හා මතවාද තර්කානුකූල විවාදයට ලක් කිරීම අත්‍යවශ්‍ය වේ. විවිධ මානයන් හා ප‍්‍රවේශයන්ගෙන් යම් යම් සිදුවීම් විශ්ලේෂණය කිරීම අර්ථකථනය කිරීම හා ඒ මත නව තීරණවලට එළඹීම ප‍්‍රගතිගාමී සමාජ ලක්ෂණයකි.  ඉදිරිපත් වන අදහස් හා යෝජනා පිළිගැනීම, ඛණ්ඩනය කිරීම වාද විවාද කිරීමට අවශ්‍ය වන සාමාජ අවකාශය ජනමාධ්‍ය මගින් සලසා දිය හැකි ය. 
ස්වාධීන රූපවාහිනි සේවය මගින් සංවාද හා සාකච්ඡුා යන වැඩසටහන් ආකෘතිය යටතේ මෙසේ වාද විවාද හා සාකච්ඡුාමය වැඩසටහන් රාශියක් ක‍්‍රියාත්මක වේ. හත්වෙනි පැය, සීතල ඊතල, ඇත් පවුර, ඇතුලාන්තය, දවසේ පත්තර, තිරසාර යුගයක් අද සහ හෙට, ගිරය වැඩසටහන්  උදාහරණ වේ. 


අභිපේ‍්‍රරණය

අභිවෘධිය ඇති කිරීමට සක‍්‍රීය ප‍්‍රජාවක අවශ්‍යතාව පවතී. සමාජයේ ඉදිරියේ පවත්නා විවිධ අභියෝග ජය ගැනීමට මිනිසුන් අභිපේ‍්‍රරණය විය යුතු ය. වෘත්තීමය වශයෙන් පවතින අසාධාරණකම්වලට එරෙහිව නැගී සිටීමට ප‍්‍රජාව අභිපේ‍්‍රරණය විය යුතු ය. එමෙන් ම සමාජ සංස්කෘතිකමය දිශාවකට ගමන් කිරීමේ දී අවශ්‍ය අභිපේ‍්‍රරණය ඉටු කරලීමේ ප‍්‍රබල හැකියාවක් ජනමාධ්‍ය සතු වේ. 


අනුකලනය

              ඕනෑම සමාජයක් ගොඩනැගී ඇත්තේ ජනවර්ග ජාති කණ්ඩායම් ආදී ඒකක වලිනි. විවිධ භාෂා, ආගමික හා සංස්කෘතික අනන්‍යතා, අධ්‍යාපනික මට්ටම් හා භූගෝලීය සීමා යනා දී සාධක මත සමාජයේ විවිධත්වය ගොඩනැගේ.  එම සාධක පදනම් කරගෙන සමාජයේ විවිධත්වය වර්ධනය වේ.  එකී විවිධත්වය ඇතැම් විට සමාජය වර්ණවත් කරන අතර තවත් විටෙක මේ විවිධත්වය පසෙකලූ ඒකීයත්වය ඉතා වැදගත් වේ. එහි දී විවිධ ජන කණ්ඩායම් අතර අන්‍යෝන්‍ය අවබෝධය, ගෞරවය, සහජීවනය ඇති කල හැක්කේ අනුකලනයෙ නි. මෙම සමාජ පරිසරය ගොඩනැංවීමේ දී මාධ්‍ය සතු කාර්ය විශේෂ වූව කි. 

8 Comments

Post a Comment

Previous Post Next Post